Monday 20th of April 2026

English Tamil
Advertiesment


රවී දිනුම් නන්දලාල් පරාදයි


2026-04-20 1223

 

රවී දිනුම් නන්දලාල් පරාදයි මාලිමා ආණ්ඩුවේ අදූරදර්ශි පාලනය සහ මැදපෙරදිග පවතින යුධමය තත්වය නිසා අපි බරපතල ආර්ථික අර්බුදයක් වෙතට තල්ලුවෙමින් ඉන්නවා.අපේ ආනයනවලට බරපතල අභියෝගයක් එල්ලවෙලා.විශේෂයෙන් බලශක්ති ප්‍රභවයන්, පොහොර.ආහාර සහ ආනයනික අමුද්‍රව්‍ය ඉන් ප්‍රධානයි.මේවා අතරින් බලශක්ති ප්‍රශ්නය දවසසින් දවස උග්‍රවෙමින් තියනවා. යුද්ධය ඇතිවෙන්න ගොඩක් කාලෙකට ඉස්සෙල්ලා තමයි බාල ගල් අඟුරු අපේ රටට ගෙනාවේ.

ඒක සැහෙන කාලයක් තිස්සේ සැලසුම් කරපු සංවිධානාත්මක අපරාධයක්.බාල ගල් අඟුරු දහනයෙන් අවශ්‍ය ප්‍රමාණයට විදුලිය නිෂ්පාදන වෙන්නේ නැති නිසා ඒ අඩුව පියවා ගන්න වෙන්නේ ඩීසල් දහනයෙන්.ඒක නිසා හෙට දවසෙත් විශාල වශයෙන් විදුලි බිල වැඩිවෙන්න නියමිතයි.මේ දවස්වල ලෝක වෙළදපොලේ ඉන්ධන මිල බොහොම වේගයෙන් උච්චාවචන වෙනවා.අපි හදිස්සි මිලදී ගැනීම් යටතේ ඩීසල් මිලදී අරගෙන තියෙන්න අසාමාන්‍ය මිලකට.ඒක නිසා තෙල් මිල ඉහල සහ විදුලි බිල වෙනුවෙන් ලොකු බරක් ජනතාවට දරන්න සිද්ධවෙන එක අනිවාර්යයි.

ගල් අඟුරු ගෙන ඒමේ ටෙන්ඩරය සහ හදිස්සි මිලදී ගැනීම සදහා දාපු Spot ටෙන්ඩරයත් දූෂිතයි.ඒ බව රජයේ විගණන වාර්තාවෙන් පැහැදිලිව පේනවා.මේ හොරකම වහගන්න අනුර ඇතුළු ආණ්ඩුව පැත්තෙන් විවිධ නීති විරෝධී උත්සාහයන් සහ අවභාවිතාවන් කරන බව පේනවා.වික්ටෝරියා ජලාශයේ ජලය විදුලිය උත්පාදනය සදහා අවශ්‍ය ප්‍රමාණයට වඩා පිට කරන බවට පෙරටුගාමීන් ආණ්ඩුවට චෝදනා කරනවා.

ඒ වගේම HSBC බැංකු ප්‍රධානියා කියන විදිහට අපි බොරතෙල් බැරලය ඩොලර් 286කට මිලදී අරගෙන.එතනත් පැහැදිලි වංචාවක් තියනවා.දැන් අනුර 2009 ඉඳන් ගල් අඟුරු මිලදී ගැනීමේදී සිදුවෙලා තියන චංචා ගැන හොයන්න පූර්ණ බලැති ජනාධිපති කොමිෂමක් පත් කරලා.මේ වෙලාවේ සිද්ධවෙලා තියන හොරකම වහගන්න කරන කූඨ උපායක් විදිහට අනුරගේ මේ හැසිරීම නම් කරන්න පුළුවන්.පහුගිය දවසක එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක කිව්වා පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය ඇතුලේ සූර්ය බලයෙන් කරන විදුලි මිලදී ගැනීම නවත්තන බව දන්වලා තියනවා කියලා.

ඇත්තටම ඒක කළා නම් හරි තවදුරටත් කරනවා නං ඒක මහ අපරාධයක්.මොකද ඒක ඇතුලේ ජනතාවට,සුළු ව්‍යාපාරිකයන්ට වගේම ඒ ක්ෂේත්‍රයේ ආයෝජනය කරලා තියන අය බරපතල විදිහට අධෛර්යයට පත්වෙනවා.සුළු ව්‍යාපරිකයෝ ලොකු ණයවලට හිරවෙලා තමයි ඒ ආයෝජන කරලා තියෙන්නේ.මේ මිලදී ගැනීම් නැවැත්තුවොත් එයාලා සම්පුර්ණ අර්බුදයකට යනවා.පුනර්ජනනීය බල ශක්තියට මේ ආණ්ඩුව දක්වන්නේ කුඩම්මගේ සැලකිල්ලක් බව දැන් කාටත් පැහැදිලියි.ඒ වගේ ඉන්ධන සහ ගල් අඟුරුවලන් විදුලිය නිෂ්පාදනය වැඩි වැඩියෙන් ධෛර්යමත් කිරීම ඇතුලේ දැනටමත් ආණ්ඩුවට ගොඩ එන්න බැරි තරමේ දුෂණ චෝදනා එල්ලවෙලා.

දැන් අපි ගෙනත් තියන ගල් අඟුරු බාල බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවා පිලි අරන් ඉවරයි.ජනතාව මත තවත් අමතර බරක් පැටවෙන බව ශ්‍රී ලංකාව බාර IMF ප්‍රධානියා කියලා තිබුණා.මේ සියලු ප්‍රශ්න එකක් හෙට දවසේ ජන ජීවිතය බරපතල අර්බුදයකට යනවා.මේ තත්වය සමනය කරගන්න වැඩපිලිවෙලක් අවශ්‍ය බව රවී පහුගිය කාලය පුරාම පාර්ලිමේන්තුවේදී කතා කළා.ඒ වෙනුවෙන් යෝජනා දුන්නා.රවී කියන්නේ තෙල් මිල වැඩි වෙනකොට විදුලි බිලත් වැඩිවෙනවා.බස් ගාස්තු වැඩිවෙනවා,හැම දෙයක්ම වැඩිවෙනවා.

මේ සියල්ල ගත්තම 50% ක විතර වැඩීවීමක් තියනවා.මාසික පඩියෙන් මේක දරා ගන්න බෑ.රවී කියන්නේ සහන විදිහට නැතත් ජනතාවට උදව් කිරීමේ වැඩපිළිවෙළක් තියෙන්න ඕනි කියලයි.මේ ප්‍රශ්නයටම මුහුණ දෙන ඉන්දියාව,මැලේසියාව,සිංගප්පූරුව වගේ රටවල් එහෙම වැඩපිලිවෙලවල් හරහා ජන ජීවිතය අර්බුදයෙන් ගොඩගන්න මැදිහත් වෙනවා.උදුහරණයක් විදිහට දැන් ණයක් ගෙවන්න තියන කෙනෙකුට ඒ ණය ගෙවන්න වෙන්නෙත් මේ සියල්ල කරන පඩියෙන්.

රවී අහන්නෙ ඇයි මහ බැංකුව මැදිහත්වෙලා මේ වෙලාවේ ඇතිවෙලා තියන අනිසි ප්‍රශ්නයෙන් බේරෙන්න ජනතාවට උදව් කරන්නේ නැත්තේ කියලා.ඇයි ඒ වෙනුවෙන් ප්‍රතිපත්තිමය තීරණ ගන්නේ නැත්තේ කියලා.ඇයි එයාලට අමතර කාල පරිච්ඡේදයකක් දෙන්නේ නැත්තේ කියලා.2022 ආර්ථික අර්බුදය ඉස්සරහත් මහ බැංකුව හැසිරුණේ මේ විදිහට.ඒකෙන් අපේ ජනතාව,සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කීයක් නං බංකොලොත් වෙලා නැත්තටම නැතිවෙලා ගියාද?රවී කියන්නේ බැංකු ක්ෂේත්‍රය විතරක් නෙවෙයි සමස්ථ පද්ධතියම ආරක්ෂා කරගන්න ඕනි කියලයි.ඒකට මහ බැංකුවත් වැඩපිළිවෙළක් නෑ.මේ ආණ්ඩුවටත් වැඩපිලිවෙලක් නෑ.

දැන් අපි ඉතා නුදුරේදී බරපතල බලශක්ති අර්බුදයක් මුහුණ දෙනවා.මේ ආණ්ඩුව බලයට ආවේ පුනර්ජනනීය බලශක්තිය දිරි ගන්වනවා කියාගෙන.මීට අවුරුද්දකට උඩදී එයාලා පුනර්ජනනීය බලශක්තිය සම්බන්ධව කියපු කතා රවී උදාහරණ සහිතව එකින් එක පාර්ලිමේන්තුවේදී හැන්සාඩ් ගත කළා.ඒවා ආණ්ඩුවේ කතා විතරයි.අද පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය වේගයෙන් මරා දමමින් ඩීසල් මත විදුලිය නිෂ්පාදනය කරන තැනට රට ගෙනත් තියලා.පහුගිය කාලය ඇතුලේ ලංකාවේ ආර්ථික පවත්වාගෙන යන්න ඕනි විදිහට ගැන,බිඳවැටීම් වෙන්න පුළුවන් තැන් ගැන, ඒවා නැවත නගා සිටුවීම ගැන රවී ලොකු මඟපෙන්වීමක් කළා.

හැබැයි ඒ මඟපෙන්වීම් කිසිම දෙයක් මේ ආණ්ඩුව භාර අරගෙන හෝ ක්‍රියාත්මක කරලා නෑ.කිසිම ක්ෂේත්‍රයක දැක්මක් නැතිව ඉදිරියට යන ආණ්ඩුවක් මේක.ආණ්ඩුව එදා වගේම අදත් අමාරුවේ දාලා තියෙන්නේ මහ බැංකුව.ඒකේ වගකීම පැවරෙන්නේ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහට.අනුරගේ නොදැනුවත්කමෙන් නන්දලාල් උපරිම ප්‍රයෝජන ගන්නවා. නන්දලාල් මහ බැංකුව ස්වාධීන කරගෙන මොකද්ද කරලා තියෙන්නේ.මොකද්ද වෙලා තියන මූල්‍ය පාලනය.අපිව IMF එකට තියලා ගැටගහලා ඒකෙන් පිට පනින්නේ නැතිව තියාගෙන ඉන්නවා.

මහ බැංකුවේ කට්ටියට අසාමාන්‍ය විදිහට පඩි වැඩි කරගෙන තියනවා.වාහන ආනයනය කළා.හැබැයි නන්දලාල්ට ඩොලරයට සාපේක්ෂව රුපියල් කඩා වැටෙන එක නවත්තන්න බැරිවෙලා තියනවා.මෙහෙම ගියොත් මේ කාර්තුව ඇතුලතම ඩොලරය 340 විතර යන්න බැරි නෑ.යුද්ධය තවදුරටත් තිබුනොත් අවුරද්ද අවසානය වෙනකොට ඩොලරය 360 වෙන්නත් බැරි නෑ.නන්දලාල් දිගටම කිව්වේ අපේ ආර්ථිකය ශක්තිමත්,රුපියල් ශක්තිමත් කියලා.

හැබැයි දැන් නන්දලාල් ඒ වගකීම ආණ්‌ඩුවට පටවන්න බලාගෙන ඉන්නවා.අද NDB බැංකුවේ වෙලා තියෙන්නේ මහා ඛේදවාචකයක්.සියලු හොරු එතනත් නිදැල්ලේ.ඒ ගැන වෙනමම කතා කරමු.ඩොලර් 286ට ඩීසල් ගැනීමටත් මහ බැංකුව වගකියන්න ඕනි.මොකද CPC එකේ ඩොලර් සංචිතයක් නෑ. ගනුදෙනුව වෙන්න ඕනි මහ බැංකුව දැනුවත්ව.ඩොලර් 286ට ඩීසල් ගන්න යෝජනාව එනකොටම නන්දලාල්ට දැනෙන්නේ නැත්තං ඒක පුදුමයක්.නන්දලාල්ටත් මෙතන කුට්ටියක් තියනවද කියන සැකය රටේ රාළට නං තියනවා.

කැබිනට් තීරණවලට කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා විදිහට අනුර වගකියන්න ඕනි වගේම මූල්‍ය ක්ෂේත්‍රයේ වගකීම තියන මහ බැංකුව රටේ ආර්ථික බිඳවැටීමට,රුපියල බාල්දු වීමට,ණය ප්‍රමාණ අසීමිත ලෙස වැඩිවීමට,මූල්‍ය පාලන කටයුතු අසාර්ථක වීමට නන්දලාල් වගකියන්න ඕනි.ඒකෙන් බේරෙන්න නන්දලාල්ට බෑ.හෙට දවසේ වෙන මහජන නැගීටීමේදී ජනතාව අනිවාර්යෙන්ම නන්දලාලුත් ප්‍රශ්න කරයි.රටේ රාළ කියන්නේ ගිය පාර රටේ බංකොලොත් බව ප්‍රකාශ කරලා වෙනදේ දිහා බලාගෙන හිටියා වගේ නන්දලාල්ට මේ පාර නං ඉන්න හම්බවෙන එකක් නෑ.

ජනතා අධිකරණය නන්දලාල්ටත් තීරණයක් දෙයි.ඇත්තටම මේ තත්වය කණ්නාඩියකින් බලාගෙන කියනවා වගේ ගිය අවුරුද්ද පුරාවටම රවී කිව්වා,පෞද්ගලික රවීට සතුටුවෙන්න පුළුවන් ඇති තමන්ගේ ආර්ථික දැක්ම නිවැරදියි කියලා.ඒත් ඉතින් රටේ පුරවැසියෙක් හැටියට ඒ සතුට රවීට තියෙන්න බෑ.එදා රවී එකින් එක මේවා කියනකොට රවීට ඇගිල්ල දික් කරපු අයට දැන් තේරෙනවා ඇති රවීගේ මඟපෙන්වීම හරි නන්දලාල් වැරදි කියලා. ඇත්තටම මේ ආණ්ඩුවේ අයට වඩා අද්දැකීම් තියන පිරිසක් විපක්ෂයේ ඉන්නවා.එයාලාගේ අද්දැකීම් මේ අර්බුදයෙන් රට බේරගන්න එකතු කරගන්න තරම් අනුර නිහතමානී වුනේ නෑ.

අනුරට දැන් මොකුත් කරගන්න බැරිව අඳුරේ අතපත ගාමින් ඉන්නවා.රටේ රාළ හිතන්නේ තව වැඩි දවසක් මේ වැඩේ කරන්න අනුරලාට බෑ.ඒක නිසා විපක්ෂය දැන් සුදානමින් ඉන්න ඕනි.

 

- රටේ රාළ -
Advertiesment